• Chathura Ramanayake

ආසියානු කුසලානයට ක්‍රීඩා කළ හැකි ශ්‍රී ලංකා සංචිතය ?



ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය එළඹෙන අගෝස්තු මස 27වනදා ආරම්භ වීමට නියමිතය. මෙවර තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සත්කාරකත්වයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිතය. තරගාවලිය වෙනුවෙන් එක්වන සෙසු රටවල් මේ වන විටත් සිය සංචිතයන් ප්‍රකාශයට පත් කොට ඇත. සත්කාරකත්වය දරණ ශ්‍රී ලංකා සංචිතය ඉදිරියේ ප්‍රකාශයට පත් කෙරෙනු ඇත. ආසියානු කුසලාන තරගාවලිය වෙනුවෙන් නම් කළ හැකි යැයි Creedanet අප අපේක්ෂා කරන ශ්‍රි ලංකා සංචිතය පහත පරිදි විය හැකිය.


ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කළ සංචිතයෙහි එතරම් වෙනස්කමක් සිදු නොකරනු ඇතැයි අපගේ අදහසයි. නමුත් මේ දිනවලදී පැවැත්වෙන ආරාධිත විස්සයි විස්ස තරගාවලියේ දක්ෂතා දක්වන අශේන් බණ්ඩාර, නිරෝෂන් දික්වැල්ල හා දිල්ෂාන් මධුසංඛ යන ක්‍රීඩකයන් හට ශ්‍රී ලංකා සංචිතයේ ඉඩක් වෙන්වනු ඇතැයි නිගමනය කළ හැකිය.


ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතයේ ආරම්භක පිතිකරුවන් ලෙසින් පැතුම් නිස්සංක, ධනුෂ්ක ගුණතිලක හා නිරෝෂන් දික්වැල්ල යන ක්‍රීඩකයන් තිදෙනා නම් කිරීමට ඉඩ ඇත. කණ්ඩායම සතු එකම කඩුලු රකින්නා කුසල් මෙන්ඩිස් පමණක් නිසාවෙන් දික්වැල්ලට අවස්ථාව හිමිවීමේ වැඩි ඉඩක් පවතී. චරිත් අසලංක , කුසල් මෙන්ඩිස් හා භානුක රාජපක්ෂ යන ක්‍රීඩකයන් අංක 3,4,5 ස්ථාන වෙනුවෙන් නම් කෙරෙනු ඇත. නායක දසුන් ශානක , වනිදු හසරංග හා චාමික කරුණාරත්න කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩකයන් ලෙසින් නම් කෙරෙනු ඇත.


තවද මැදපෙළ පිතිකරුවකුගේ ආදේශනයක් සිදු කිරීමට අවශ්‍ය වුවහොත් ආරාධිත විස්සයි විස්ස තරගාවලියේ දස්කම් අතර රැදී සිටින අශේන් බණ්ඩාර එම ක්‍රීඩකයා ලෙසින් නම් කිරීමට වැඩි ඉඩක් පවතී. කණ්ඩායමේ අනික් ප්‍රධාන පන්දු යවන්නන් දෙදෙනා ලෙසින් දුෂ්මන්ත චමීර හා මහීෂ් තීක්ෂණ කටයුතු කරනු ඇත.


කණ්ඩායමේ පන්දු බලඇණියේ ශක්තිමත් කිරීමට ආරාධිත විස්සයි විස්ස තරගාවලියේ දක්ෂතා දක්වන දිල්ෂාන් මධුසංඛ සංචිතයට කැදවීමේ වැඩි ඉඩක් පවතී. එමෙන්ම ආරාධිත විස්සයි විස්ස තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා වන අසිත ප්‍රනාන්දු හෝ බිනුර ප්‍රනාන්දු යන ක්‍රීඩකයන් දෙදෙනාගෙන් එක් අයකුද වේගපන්දු යවන්නන් ලෙසින් සංචිතයට එක් කරනු ඇතැයි උපකල්පනය කළ හැක. එමෙන්ම ආරාධිත විස්සයි විස්ස තරගාවලියේ දස්කම් අතර රැදී සිටින ප්‍රවීන් ජයවික්‍රම හෝ ජෙෆ්‍රි වැන්ඩසේද අවසන් ක්‍රීඩකයන් 15 අතරට ඇතුළත් වීමේ වැඩි ඉඩක් පවතී.


ආසියානු කුසලාන තරගාවලිය වෙනුවෙන් අපේක්ෂිත ශ්‍රි ලංකා සංචිතය


පැතුම් නිස්සංක

ධනුෂ්ක ගුණතිලක

නිරෝෂන් දික්වැල්ල

චරිත් අසලංක

කුසල් මෙන්ඩිස්

භානුක රාජපක්ෂ

අශේන් බණ්ඩාර

දසුන් ශානක

චාමික කරුණාරත්න

වනිදු හසරංග

මහීෂ් තීක්ෂණ

දුෂ්මන්ත චමීර

දිල්ෂාන් මධුසංඛ

අසිත ප්‍රනාන්දු / බිනුර ප්‍රනාන්දු

ප්‍රවීන් ජයවික්‍රම / ජෙෆ්‍රි වැන්ඩසේ

101 views0 comments