• Chathura Ramanayake

ආරොන් ෆින්ච්ගේ වාර්තාගත ඉනීමට වසර 4ක් !!!

Updated: Jul 3


ඕස්ට්‍රේලියානු කණ්ඩායම, පාකිස්ථාන කණ්ඩායම හා සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර තුන්කොන් විස්සයි විස්ස තරගාවලියක් 2018 වසරේදී පැවැත්විණි. මෙම තරගාවලියේ සියලුම තරග හරාරේහිදී පැවැත්විණි. තරගවලියේ පැවති තෙවන විස්සයි විස්ස තරගය වාර්තා පොත් අතරට එක් වූ තරගයක් බවට පත්විය. සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම හා ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම මෙම තරගයේදී මුණගැසුනේ මීට වසර 4කට පෙර අද වැනි දිනයකදීය.


තරගයේ කාසියේ වාසිය හිමිකරගත් සිම්බාබ්වේ නායක හැමිලටන් මසකඩ්සා පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළේය. ඒ ආරාධනයෙන් පිටියට පිවිසෙන ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගලය වූ ආරොන් ෆින්ච් හා ඩි ආකි ෂෝට් සිම්බාබ්වේ පන්දු යවන්නට එරෙහිව අනුකම්පා විරහිත ප්‍රහාරයක් දියත් කරන්නට විය. ඔවුන් දෙදෙනා එක්ව පවර්ප්ලේ කොටස තුලදී ලකුණු 75ක් ඕස්ට්‍රේලියානු ඉනිමට එක් කරන්නට සමත් විය.


ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 100 සිමාව පසු කරන විටදී, ලිපියේ කතානායක වන ආරොන් ෆින්ච් නොදැවී ලකුණු 75ක් රැස් කොට තිබුණි. ඕස්ට්‍රේලියානු ඉනිමේ දාහතරවන පන්දුවාරයේ සිව්වන පන්දුවේදී, ඕස්ට්‍රේලියානු විස්සයි විස්ස ඉතිහාසයේ ආරම්භක කඩුල්ල වෙනුවෙන් හොදම සබදතාවයේ වාර්තාව අලුත් කරන්නට ෆින්ච් හා ආකි ෂොට් සමත් විය. එම පන්දුවරයේම අවසන් පන්දුවේදී සිය දෙවන විස්සයි විස්ස ජාත්‍යන්තර ශතකය වාර්තා කරන්නට ආරොන් ෆින්ච් සමත් වුයේ පන්දු 50ක් තුල හතරේ පහර 10ක් හා හයේ පහර 5ක් එල්ල කරමිනි.


ඉනිමේ දහසය වන පන්දුවාරයේ තෙවන පන්දුවේදී ආරොන් ෆින්ච් හයේ පහරක් එල්ලකරමින්, ඒ වන විට මාටින් ගප්ටිල් හා කෙන් විලියම්සන් සතුවූ ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ ආරම්භක කඩුල්ල වෙනුවෙන් හොදම සම්බන්දතාවයේ වාර්තාව බිද හෙලන්නට සමත්විය. ඉනීමේ දහඅටවන පන්දුවාරයේ අවසන් පන්දුවේදී එල්ල කල හතරේ පහරත් සමගින් ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ වාර්තා වූ පළමු ද්විත්ව ශතක සබඳතාව සිය නාමය ඉදිරියේ ලියවා ගන්නට ආරොන් ෆින්ච් හා ආර්කි ෂෝට් සමත්කම් දැක්වීය. දහනවවන පන්දුවාරයේ තෙවන පන්දුවේදී එල්ල කල හයේ පහරත් සමගින් සිය නාමය ඉදිරියේම ලියවී තිබූ , ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ ඉනිමක රැස්කළ ඉහලම ලකුණු වාර්තාව අලුත් කරන්නට ආරොන් ෆින්ච්ට හැකිවිය.


ඉනිම නිමවන්නට පන්දු හතරක් ඉතිරිව තිබියදී ඩි ආර්කි ෂෝට් ලකුණු 46කට දැවී ගියේ ලකුණු පුවරුව 223ක් ලෙසින් සටහන් වන විටදීය. ඒ අනුව ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් වාර්තා වූ ඉහලම ලකුණු සංඛ්‍යාව ලෙසින් එය වාර්තා පොත් අතරට එක් වුවද, 2019 වසරේදී එම වාර්තාව ඇෆ්ගනිස්ථානය විසින් බිදහෙලනු ලැබිය. ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ ඉනිමක ඉහලම ලකුණු ලාභියා බවට පත්වෙමින් ආරොන් ෆින්ච් ලකුණු 172කට දැවී ගියේ හතරේ පහර 16ක් හා හයේ පහර 10කින් ඉනිම වර්ණවත් කරමිනි. විස්සයි විස්ස වාර්තා පොත් අලුත් කළ මෙම තරගයේදී, ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 2කට ලකුණු 229ක් රැස්කළ නමුත් ප්‍රතිවාදී සිම්බාබ්වේ කණ්ඩායමට කඩුලු 9ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 129ක් පමණි.

0 views0 comments