• Chathura Ramanayake

අෆ්‍රිඩි හා බුම්‍රා අභිබවමින් රබාඩා ශ්‍රේණිගතකිරීම්හි ඉහළට !!!



එංගලන්ත කණ්ඩායම සමගින් අවසන් වූ පළමු ටෙස්ට් තරගයේදී විශිෂ්ඨ දස්කම් පෑ දකුණු අප්‍රිකානු වේගපන්දු යවන ක්‍රීඩක කාගිසෝ රබාඩා ජාත්‍යන්තර ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගතකිරීම්හි ඉහළට පැමිණීමට සමත්ව ඇත. මින් පෙර ටෙස්ට් ශ්‍රේණිගතකිරීම්හි පස්වන ස්ථානයේ රැදී සිටි කාගිසෝ රබාඩා නවතම ශ්‍රේණිගතකිරීම්හි තෙවන ස්ථානය තෙක් ඉදිරියට පැමිණීමට සමත්ව ඇත.


රබාඩා ඉදිරියට පැමිණීමත් සමග තෙවන හා සිව්වන ස්ථාන වල රැදුනු ශහීන් අෆ්‍රිඩි හා ජස්ප්‍රිට් බුම්‍රා එක් ස්ථානය බැගින් පසුපසට ගොස් ඇත. එමෙන්ම එංගලන්තයට එරෙහිව දක්ෂතා දැක්වූ ඇන්රිච් නෝකියා ශ්‍රේණිගතකිරීම්හි ස්‍ථාන 14කින් ඉදිරියට පැමිණ ඇති අතර ඔහු පන්දු යවන්නන් අතරෙහි 25වැන්නා ලෙසින් රැදී සිටියි. මාර්කෝ ජන්සෙන් ශ්‍රේණිගතකිරීම්හි 33වන ස්ථානය තෙක් ස්ථාන 7කින් ඉදිරියට පැමිණ ඇත


ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගතකිරීම් සැලකීමේදී දකුණු අප්‍රිකානු ආරම්භක පිතිකරු සරෙල් අර්වී ස්ථාන 34කින් ඉදිරියට පැමිණෙමින් 65වැන්නා ලෙසින් රැදීසිටියි. එංගලන්ත පිතිකරු ඔලී පෝප් 45වන ස්ථානය තෙක් ස්ථාන 10කින් ඉදිරියට පැමිණ ඇත.


සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව දැක්වූ දක්ෂතා හේතුවෙන් ඉන්දීය ක්‍රීඩක ශුබ්ම්න් ගිල් ශ්‍රේණිගතකිරීම්හි ස්ථාන 45ක් ඉදිරියට පැමිණීමට සමත්ව ඇත්තේ පිතිකරුවන් අතරෙහි 38වැන්නා බවට පත් වෙමිනි. සිම්බාබ්වේ ක්‍රීඩක ශිකන්ධර් රාසා පිතිකරණ ශ්‍රේණිගතකිරීම්හි 25වන ස්ථානය තෙක් ස්ථාන 7කින් ඉදිරියට පැමිණ ඇත.

253 views0 comments