• Chathura Ramanayake

අවසන් තරඟ වල රිද්මය ශ්‍රී ලංකාවට වාසි සහගත වෙයිද?



ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය හෙට දිනයේදී ආරම්භ වීමට නියමිතය. තරගාවලියේ පළමු තරගය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම, ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව හෙට දිනයේදී ක්‍රීඩා කිරීමට නියමිතය. ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 5 තුළ පිතිකරුවන්, පන්දු යවන්නන් දස්කම් දක්වා ඇත්තේ කෙසේද යන්න පිළිබඳව Creedanet අප කරන පෙර විමසුමක් මෙතැන් පටන්.


ශ්‍රි ලංකා කණ්ඩායම අවසන් ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 5 ක්‍රීඩා කොට ඇත්තේ ඕස්ට්‍රේලියාව හා ඉන්දියාවට එරෙහිවයි. එම තරග පහ අතුරින් ශ්‍රී ලංකාවට එක් තරගයක් පමණක් ජයගන්නට හැකි වුවද ශ්‍රී ලංකා ක්‍රීඩකයන් එහිදී දක්ෂතා අතරට පැමිණීමට සමත් විය. ශ්‍රී ලංකාව වෙනුවෙන් අවසන් විස්සයි විස්ස තරග 5 තුළදී වැඩිම ලකුණු රැස්කොට ඇත්තේ නායක දසුන් ශානකයි.


දසුන් ශානක අවසන් ජාත්‍යන්තර විස්සයි විස්ස ඉනීම පහ තුළදී ලකුණු 189ක් රැස්කිරීමට සමත්ව ඇත්තේ 94.50ක පිතිකරණ සාමාන්‍යයක් රදවා ගනිමිනි. අවසන් ජාත්‍යන්තර විස්සයි විස්ස තරග පහ තුළදී දසුන් ශානක අර්ධ ශතක 2ක් රැස්කිරීමට සමත් වූ අතර ඔහුගේ ප්‍රහාරාත්මක වේගය 187ක් වැනි ඉහළ අගයක් ගනී.


ශ්‍රී ලංකාව වෙනුවෙන් අවසන් තරග 5 තුළදී දෙවනුවට වැඩිම ලකුණු රැස්කොට ඇත්තේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකයි. පැතුම් ඉනීම පහ තුළදී ලකුණු 142ක් රැස්කොට ඇති අතර එහිදී ඔහු වැඩිම ලකුණ ලෙසින් ඕස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 75ක් රැස්කිරීමට සමත් විය. අවසන් විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 5 තුළදී ලකුණු 109ක් රැස්කිරීමට චරිත් අසලංක සමත් වී ඇත.


ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක අවසන් තරග 5ටම ක්‍රීඩා කොට ඇති අතර එහිදී ලකුණු 83ක් රැස්කොට ඇත්තේ 136ක ප්‍රහාරාත්මක වේගයක් රදවාගනිමිනි. සෙසු පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස්, වනිදු හසරංග හා භානුක රාජපක්ෂ අවසන් තරග 5 අතුරින් 3කට පමණක් ක්‍රීඩා කළ අතර එහිදී ඔවුන් පිළිවෙලින් ලකුණු 43, 37ක් හා 30 බැගින් රැස්කොට ඇත.


අවසන් තරග 5 සැලකීමේදී පන්දු යැවීමේ බලඇණියේ දසක්ම් එතරම් ඉස්මතු නොවන ආකාරයක් දැකිය හැකිය. සුපිරි දගපන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග ආබාධයන් හේතුවෙන් තරග 3කට පමණක් ක්‍රීඩා කළ අතර එහිදී ඔහු කඩුලු 5ක් දවාගෙන ඇත. අවසන් තරග 5න් ඉන්දියාවට එරෙහි තරග 2ට ක්‍රීඩා කරමින් කඩුලු 4ක් දවාගත් ලහිරු කුමාරට මෙවර ආසියානු කුසලාන සංචිතයේ ස්ථානය අහිමි වී ඇත.


අවසන් තරග පහ තුළ වැඩිම කඩුලු දවාගත් ක්‍රීඩකයන් අතර තෙවැන්නා වබ,දුෂ්මන්ත චමීරට ද ආබාධයක් හේතුවෙන් මෙවර තරගාවලිය අහිමි විය.මහීෂ් තීක්ෂණද අවසන් තරග 5 අතුරින් තරග 3කට පමණක් ක්‍රීඩා කරමින් කඩුලු 2ක් බිදහෙලා ඇති නමුත් ඔහුට එරෙහිව ප්‍රතිවාදීන්ට පන්දුවාරයක් තුළදී ලබාගැනීමට හැකිව ඇත්තේ ලකුණු 6.58ක් පමණි.


ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සතු අත්දැකීම් සහිත වේගපන්දු යවන්නා වන චාමික කරුණාරත්න අවසන් තරග 5 තුළ එක් කඩුල්ලක් පමණක් දවාගෙන ඇති නමුත් ඔහුට එරෙහිවද පන්දුවාරයකදී ප්‍රතිවාදීන්ට රැස්කිරීමට හැකිව ඇත්තේ ලකුණු 7.45ක් පමණි.

53 views0 comments