• Chathura Ramanayake

අමිල අපෝන්සු ඇමරිකානු ක්‍රිකට් පිටියේ පන්දුවෙන් දස්කම් පායි !!



ඇමරිකා එක්සත් ජනපද විස්සයි විස්ස තරගාවලිය වන MiLC තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග ඊයේ දිනයේදී පැවැත්විණි. තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග වලදී කණ්ඩායම් දෙක තරග 3 බැගින් ක්‍රීඩා කරන අතර ඉන් වැඩිම තරග ගණනක් ජයග්‍රහණය කරන කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබනු ඇත.


Atlanta Fire කණ්ඩායම හා Manhattan Yokers කණ්ඩායම් අතර පැවති තරගයකදී දක්ෂතා දක්වන්නට Atlanta Fire කණ්ඩායමේ අමිල අපෝන්සුට හැකි විය. මෙම තරගයේදි Atlanta Fire කණ්ඩායම පන්දුවාර විස්ස තුළ ලකුණු 198ක් රැස්කළ අතර ඊට Zain A Sayed ලකුණු 75කින්ද Aaron Jones ලකුණු 72කින්ද දායක විය.


ඉලක්කය හබායාමට පිටියට පිවිසෙන Manhattan Yokers කණ්ඩායමට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් පන්දුවාර 15 පන්දු 2කදී කඩුලු 7කට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 136ක් පමණි. එහිදී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ අමිල අපෝන්සු ලකුණු 29කට කඩුලු 3ක් දවාගැනීමට සමත් විය. ඒ අනුව ඩක්වත් ලුවිස් න්‍යාය අනුව මෙම තරගයෙන් ලකුණු 19ක ජයක් හිමිකරගැනීමට Atlanta Fire කණ්ඩායමට හැකිවිය.


Pacific Conference කාණ්ඩයේ අවසන් පූර්ව තරගයකදී ශෙහාන් ජයසූරිය නියෝජනය කරන Silicon Valley Strikers කණ්ඩායම හා Chicago Tigers කණ්ඩායම තරග වැදුනි. මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් Chicago කණ්ඩායමට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 95ක් පමණි. එක් කඩුල්ලක් පමණක් දැවී ඉලක්කය පහසුවෙන් හබායාමට Silicon Valley කණ්ඩායමට හැකි විය.


එහිදී ලෙන්ඩල් සිමන් නොදැවී ලකුණු 52ක්ද උන්මුක්ට් චාන්ද් ලකුණු 34ක්ද රැස්කළ අතර ශෙහාන් ජයසූරිය නොදැවී ලකුණු 5ක් රැස්කළේය. Chicago Tigers කණ්ඩායම සමගින් පැවති දෙවන අවසන් පූර්ව තරගය සුපිරි පන්දුවාරයේදී පරාජයට පත් වන්නට Silicon Valley Strikers කණ්ඩායමට සිදුවිය. ඒ හේතුවෙන් තෙවන අවසන් පූර්ව තරගයටද ක්‍රීඩා කිරීමට ඔවුන්‍ට සිදුවනු ඇත.


ඊයේ දිනයේදී ලහිරු මිලන්ත ක්‍රීඩා කරන Morrisvillie Raptors කණ්ඩායමද අවසන් පූර්ව වටයේ තරග ද්විත්වයට ක්‍රීඩා කළහ. New Jersey Stallions කණ්ඩායමට එරෙහිව පැවති පළමු අවසන් පූර්ව තරගය ලකුණු 16කින්ද දෙවන අවසන් පූර්ව තරගය එක් ලකුණකින්ද පරාජයට පත් වන්නට Morrisvillie Raptors කණ්ඩායමට සිදුවිය. අවසන් පූර්ව තරග ද්විත්වයම පරාජයට පත් වීම හේතුවෙන් Atlantic Conference අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ඔවුන්ට නොහැකිවිය.






1,102 views0 comments