• Chathura Ramanayake

අපි දැන් ස්මාර්ට් ක්‍රිකට් ගහන්න පටන් අරං තියෙනවා - අවිශ්ක ගුණවර්ධන


ආසියානු කුසලාන තරගාවලිය පසුගියදා අවසන් වද්දී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් හයවන අරටත් ශූරතාවය දිනාගත්හ. තරගය පිළිබඳව ශ්‍රී ලංකා කණ්ඩායමේ මෑතකාලීනව පුහුණුකරුවෙකු ලෙසින් සේවය කළ අවිශ්ක ගුණවර්ධන සිරස TV පැතිකඩ වැඩසටහන සමගින් එක්ව අදහස් දක්වා ඇත. එහිදී ඔහු වේගපන්දු යවන ක්‍රීඩක දිල්ෂාන් මධුසංඛ ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් රැසක් පිළිබඳව අදහස් දැක්වීය.


" දිල්ෂාන්ට තාම වයස 21යි. මම හිතන්නෙ ඉදිරියට ශ්‍රී ලංකා ක්‍රිකට් වලට ගොඩක් වැද්ගත්වෙන ගොඩක් වැඩගන්න පුලුවන් පන්දුටවන්නෙක්. මම දැක්ක විදියට ඔහු නව පන්දුවෙන් දෝලනය බලාපොරොත්තුවෙන් තමයි පන්දු යැව්වෙ. අපි ඔහුගෙන් බලාපොරොත්තු දෙන්නෙත් ඒ දේමයි."
" මේ කණ්ඩායමේ ගොඩක් ඉන්නෙ තරුණ ක්‍රීඩකයො. මේ කණ්ඩායමේ උපරිම දක්ෂතා අපිට බලාගන්න පුලුවං වෙන්නෙ ඉස්සරහට. කණ්ඩායමක් විදියට එක් එක් කෙනා අනෙකාගේ සාර්ථකත්වය සමරනවා."


අවසන් මහා තරගයේදී පිත්තෙන් දස්කම් පෑ භානුක රාජපක්ෂ පිළිබඳව ද අවිශ්ක ගුණවර්ධන අදහස් දක්වා ඇත.

" ඕක තමයි අත්දැකීම් කියන්නෙ. ඔහු ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන්න අරං ලොකු කාලයක් නෑ. මං හිතන්නෙ අවුරුද්දක් දෙකක් ඇති. නමුත් ඔහු සෑහෙන්න කාලයක් ක්‍රිකට් ක්‍රීඩා කරල තියෙනවා. අපි සාමාන්‍යයෙන් කියන්නෙ පිතිකරුවෙකුගෙ හොදම කාලය එන්නෙ අවුරුදු 27-28න් කියලා. අවසන් මහා තරගයේ ඉනීම දිහා බලද්දි තේරෙනවා භානුක හිටියට වඩා පරිණත ක්‍රීඩකයෙක් කියලා."
" ක්‍රිකට් ක්‍රීඩාව කියන්නෙ අවිනිශ්චිත දෙයක්. විශේෂයෙන් විස්සයි විස්ස තරගයකදී එක් ක්‍රීඩකයෙක්ට පුලුවන් තරගයක් දිනවන්න.අපි දැක්කා ලකුණු 58කට කඩුලු 5ක් බිදවැටිලා තියෙද්දි භානුක 19වැනි පන්දුවාර තෙක් ක්‍රීඩා කරලා ලකුණු 70ක් ගහනවා. පකිස්ථානය පැත්තට තිබ්බ තරගය අපිට ඇදල ගන්න පුලුවන් වුණා. මේ වෙනකල් අපේ ක්‍රීඩකයො දක්ෂතාවයෙන් ක්‍රිකට් ගැහුවා. දැං අපේ අය ස්මාර්ට් ක්‍රිකටුත් ගහන්න පටං අරං. ලෝකේ ගොඩක් කණ්ඩායම් ගත්තාම,දක්ෂතාවයේ ලොකු වෙනසක් නෑ. ස්මාර්ට් ක්‍රිකට් කියන්නෙ පීඩනය තියෙන අවස්ථාවේ ඒ පීඩනය හොදින් හසුරවන්න. භානුක ඒ ක්‍රීඩා කරපු ඉනීම ස්මාර්ට් ඉනීමක්."
" ඉන්දියාව පාකිස්තානය වගේ කණ්ඩායම් පරාජයට පත් කරලා ආසියානු කුසලානය දිනනවා කියන්නෙ අපේ බෙන්ච් එක ශක්තිමත්. මේ දේවල් මට පේන්නෙ ඉදිරි අවුරුදු 2,3ට සුබවාදී ලක්ෂණ. "

88 views0 comments