• Chathura Ramanayake

කෝලි, රිෂාබ් පාන්ට් ප්‍රමුඛ ඉන්දීය පිතිකරණ බළඇණිය අසරණ කළ දිල්ශාන්ගේ කතාව.

Updated: Sep 7

ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කිරීම තම සිහිනයක් වූ බව මීට දින කිහිපයකට පෙර මාධ්‍ය වෙත පැවසූ යොවුන් වේගපන්දු යවන ක්‍රීඩක දිල්ශාන් මධුශංක ඊයේ දිනයේදී අද්විතීය පන්දු යෑවීමක නිරත වුණා.


අතිශය ප්‍රබල ඉන්දීය කණ්ඩායමට එරෙහිව විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ඔහු පන්දුවාර සිය පන්දුවාර 4 අවසානයේ කඩුලු ත්‍රිත්වයක්ම දඩයම් කාලේ ලකුණු 24ක් පමණක් ලබාදෙමින්.



රෝහිත් ෂර්මාට සහ කේ එල් රාහුල්ට එරෙහිව ඉන්දීය ඉනිමේ පළමු පන්දුවාරය ක්‍රියාත්මක කළ දිල්ශාන් එම පන්දුවාරය ලකුණු 4කට සීමා කිරීමට සමත්වුණා.


ඉන් අනතුරුව සිය දෙවැනි පන්දු වාරයේදී අතිවිශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ඉන්දීය සුපිරි පිතිකරු විරාට් කෝලිගේ කඩුල්ල සුනුවිසුනු කරන්නට දිල්ශාන් සමත් වුණේ ක්‍රිකට් ලෝකයටම සිය ආගමනය පිළිබඳ සුවිශේෂී සලකුණක් තබමින්.


ඉන්දීය කණ්ඩායම පන්දුවාර 18ක් අවසානයේ ලකුණු 157/5 ක් ලෙස ප්‍රබල අවධියක පසුවද්දි 19 වැනි පන්දුවාරය ක්‍රියාත්මක කිරීමට දිල්ශාන් අවතීර්ණ වුණේ ඉන් 18 වෙනි පන්දුවාරයට ලකුණු 17ක් වාර්තා වී තිබූ පසුබිමකයි.


පහසුවෙන්ම ලකුණු 180ක් ලබාගැනීමට ඉන්දියාවට තිබූ අවස්තාව අහිමි කළ දිල්ශාන් ප්‍රභල ක්‍රීඩක රිශාබ් පාන්ට් සහ දිපක් හූඩා දවාගැනීමට සමත්වුනේ එම පන්දුවාරයට ලකුණු 4ක් පමණක් ලබාදෙමින්.


මේ සටහන එවන් විශිෂ්ට පන්දු යැවීමක නිරතවුණු දිල්ශාන් පිළිබඳවයි.


21 හැවිරිදි වියෙහි පසුවන වේගපන්දු යවන්නා ආසියානු කුසලාන තරගාවලියේ පළමු තරගයේදී ඇෆ්ගනිස්තානයට එරෙහිව ජාත්‍යන්තර වරම් හිමිකරගත්තේය.


හුංගම විජයබා විද්‍යාලයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට අත්පොත් තබන දිල්ෂාන් මධුසංඛ 2020 වසරේ පැවති යොවුන් ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට තේරීපත්විය. යොවුන් වේගපන්දු යවන ක්‍රීඩක දිල්ෂාන් මධුසංඛ සම්බන්ධයෙන් හිටපු දකුණු පළාත් පුහුණුකරු මංජුල කරුණාරත්න අදහස් දක්වා ඇත.


" මොහු පන්දු යවන අයුරු මම මුලින්ම දැක්කේ ඔහුගේ පාසලෙන්. ශ්‍රී ලංකා ක්‍රිකට් අධීක්ෂණය යටතේ දක්ෂතා සෙවීමේ පුහුණු කඳවුරක් හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වුණා. එහි පුහුණුවීම් සඳහා පැමිණෙන ලෙස ඔහුට ආරාධනා කළා.පළාත් පුහුණුකරු ලෙස මගේ රාජකාරිය වන්නේ ක්‍රිකට් ක්‍රීඩකයින් සොයා ගැනීම හා ඔවුන්ට ඉහළ මට්ටමකට යාමට නිසි පුහුණුවක් ලබා දීමයි"
" ඇත්ත වශයෙන්ම පළමු දිනයේ දිල්ෂ් මධුශංක හම්බන්තොට පුහුණුවීම් සඳහා පැමිණීමට කැමැත්තක් දැක්වූයේ නෑ. මම ඔහුගේ පාසලේ පුහුණුකරුවන්ට කතා කළා. ඔහුට පන්දු යැවීමට බූට් යුගල පවා නොමැතිව බොහෝ දුෂ්කරතා ඇති වුණා. මම ඒවා සොයා ගැනීමට උනන්දු වෙලා ඒ දේවල් සොයා දුන්නා" යනුවෙන් මංජුල වැඩිදුරටත් පැවසීය.

දිල්ෂාන් මධුසංඛගේ ක්‍රිකට් දිවියේ සිදුවූ හැරවුම් ලක්ෂය හේතුවෙන් ඔහුට චමින්ද වාස් මුණගැසුනු බව මංජුල කරුණාරත්න සදහන් කොට ඇත


" ඔහුගේ ක්‍රිකට් දිවියේ හැරවුම් ලක්ෂය 2020 වසරේ පාකිස්තානයට එරෙහි තරගාවලිය සඳහා හම්බන්තොටදී පැවැති වයස අවුරුදු 19න් පහළ ජාතික ක්‍රිකට් පුහුණුවීම් අතරතුර සිදුවූ අනපේක්ෂිත සිදුවීමයි. ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ දැල් තුළ පන්දු යවන්නකු ලෙස හම්බන්තොටට පැමිණෙන ලෙස මම ඩිල්ෂාන් මධුශංකට ආරාධනා කළා.එවක වයස අවුරුදු 19න් පහළ ජාතික කණ්ඩායමේ වේගපන්දු යැවීමේ පුහුණුකරු වූයේ හිටපු ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක චමින්ද වාස්. වාස් ඔහුව දැකල කොළඹට පැමිණෙන්නට ආරාධනා කළා"

දිල්ෂාන් මධුසංඛ පළමු වරට ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කරනු ලැබුවේ යොවුන් ලෝක කුසලාන තරගාවලියේ නයිජීරියාවට එරෙහිව පැවති Plate අවසන් මහා තරගයටයි. එම තරගයේදී කඩුලු 5ක් දවාගනිමින් විශිෂ්ඨ දස්කම් පාන්නට ඔහුට හැකිවිය. වත්මන් ක්‍රීඩා දිවිය හා මෙතෙක් පැමිණි ගමන්මග පිළිබඳව දිල්ෂාන් මධුසංඛ අදහස් දක්වා ඇත.


" මගේ පියා ධීවරයෙක්, මගේ මව විසින් පවත්වාගෙන යනු ලබන කුඩා කඩයක් තියෙනවා. අපේ පාසලේ තිබුණෙ සීමිත පහසුකම් ටිකක් විතරයි. අපිට ක්‍රීඩා කරන්න ටර්ෆ් එකක්වත් තිබ්බෙ නෑ. කොහොම වුණත් චමින්ද වාස් මුණගැහුණාට පස්සේ මට දිගටම ක්‍රිකට් ක්‍රීඩා කරන්න ඕන වුණා. ඒ වගේම ඉහළට එන්නත් ඕන වුණා. මාව මුලින්ම ජාතික ටෙස්ට් සංචිතයට ඇතුළත් කළා, නමුත් මට එහිදී අතිරේක ක්‍රීඩකයෙක් විදියට තමයි ඉන්න වුණේ. නමුත් මිකී ආතර් යටතේ සහ වර්තමානයේ දී ක්‍රිස් සිල්වර්වුඩ් යටතේ පුහුණුවීම් කිරීමට මට හොඳ අවස්ථාවන් ලැබුණා . 2021 වසරේ දකුණු අප්‍රිකානු තරගාවලිය සඳහා වන ටෙස්ට් සංචිතයට මාව නම් කළා. ඉන්පසු එම වසරේම බටහිර ඉන්දීය කොදෙව් සීමිත පන්දුවාර ක්‍රිකට් සංචිතය සහ බංගලාදේශ ටෙස්ට් තරගමාලාව සඳහාත් මාව නම් කළා. නමුත් ඒ හැම වෙලාවකම මට අතිරේක ක්‍රීඩකයෙක් විදියට තමයි ඉන්න වුණේ."

5,901 views0 comments