• Chathura Ramanayake

අපට කණ්ඩායම් දෙකක්, තුනක් සෑදීමට හැකියාව තියෙනවා - දිනේෂ් කාර්තික්



ඉන්දියාවට එකවර කණ්ඩායම් දෙකක් වුවද තරගාවලි වෙනුවෙන් ක්‍රීඩා කරවීමේ හැකියාවක් පවතින බවට මෑත කාලීනව පැවති තරගාවලීන්හිදී තහවුරු විය. එංගලන්තය සමගින් ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් ටෙස්ට් සංචිතය එංගලන්තයේ රැදී සිටියදී අයර්ලන්තය සමගින් තරගාවලියක් වෙනුවෙන් හර්දික් පාන්ඩ්‍යා ප්‍රමුඛ කණ්ඩායම සහභාගී විය.


එමෙන්ම පසුගිය වසරේදී ඉන්දීය කණ්ඩායම එංගලන්ත ටෙස්ට් සංචාරක වෙනුවෙන් එක්වන විටදී ශිකර් ධවාන් ප්‍රමුඛ කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත විය. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමගින් පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය අතරතුරදී මෙම කරුණ සම්බන්ධයෙන් දිනේෂ් කාර්තික් අදහස් දක්වා ඇත. ඒ අනුව ඉන්දීය කණ්ඩායම තුළ පවතින තරගකාරී ස්වභාවය පිළිබඳව දිනේෂ් කාර්තික් අදහස් දක්වා ඇත.


" දැනට ඉන්දීය කණ්ඩායමේ සිටින ක්‍රීඩකයන් සංඛ්‍යාව බලද්දි අපිට කණ්ඩායම් දෙකක්, සමහරවිට කණ්ඩායම් තුනක් පවා නිර්මාණය කිරීමේ හැකියාව තියෙනවා. බොහෝ රටවලට එසේ කරන්න පුලුවන් කියලා මම හිතන්නෙ නෑ."


තිස්හත්වන වියෙහි පසුවන දිනේෂ් කාර්තික් ඉන්දීය විස්සයි විස්ස කණ්ඩායමේ තරග අවසන් කරන්නෙකු බවට පත්ව සිටියි. තමා කෙරෙහි තවමත් විශ්වාසය තැබීම සම්බන්ධයෙන් කළමනාකාරීත්වයට සිය ස්තුතිය පළ කරන දිනේෂ් කාර්තික් නායක රෝහිත් ෂර්මාටද සිය ප්‍රණාමය පලකොට ඇත.


" නැවත කණ්ඩායමට පැමිණීම ඇත්තටම සතුටු දෙයක්. මම මගේ ජීවිත කාලෙටම අරමුණු කරගත්තු දේ තමයි මේ. නායකයා හා පුහුණුකරු මා කෙරෙහි තැබූ විශ්වාසයට සාධාරණයක් කළ හැක්කේ මම හොදින් දක්ෂතා අතරට පැමිණීමෙන් පමණයි. එය කණ්ඩායමටත් ජයග්‍රහණ ලබාගැනීමට බොහෝ සෙයින් උපකාරී වේවි."

887 views0 comments