• Shaminda Jayarathne

අන්තිම ඕවරේට ලකුණු 12-13 තිබ්බා නම් පුතා තරඟය දිනවනවා - අර්ශදීප් ගේ මව

ඉන්දියාව සහ පාකිස්තානය අතරේ අවසන් වූ ආසියානු කුසලානයේ දෙවන වටයේ තරඟයේදී ඉන්දියාව පරාජයට පත් කරමින් කඩුලු 5 ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට පාකිස්තානයට හැකියාව ලැබුණා. මෙම තරඟයේ අවසන් භාගයේදී පාකිස්තානය වෙනුවෙන් ජයග්‍රාහී ඉනිමක් දියත් කල ආසිෆ් අලී පන්දු 8 කදී හතරේ පහර 2ක් සහ එක් හයේ පහරක්ද සමග ලකුණු 16ක් වාර්තා කළා.


මේ කෙටි ඉනිම අවස්ථාව අනුව පාකිස්තාන ජයග්‍රහණය තහවුරු කිරීමට විශාල පිටිවහලක් වුණා. නමුත් අලී ලකුණු ලබා ගැනීමටත් පෙර ලබාදුන් ඉතාම පහසු උඩපන්දුවක් ඉන්දීය ක්‍රීඩක අර්ෂදීප් සිං අතින් ගිලිහී යාම සම්බන්ධයෙන් තරඟයෙන් පසුව වඩාත් කතාබහක් නිර්මාණය කොට තිබුණා.


විශේෂයෙන්ම අර්ෂදීප් සිංට සමාජ මාධ්‍ය ඔස්සේ විශාල වශයෙන් දෝෂාරෝපණයන් එල්ල කිරීමට ප්‍රේක්ෂකයන් කටයුතු කළා.

අර්ෂදීප් ට ප්‍රථමව අවසන් බුවනේෂ්වර් කුමාර් යැවූ පන්දුවාරයට පාකිස්තාන පිතිකරුවන් ලකුණු 19ක් වාර්තා කිරීම නිසා අවසන් පන්දුවාරයට ඔවුන්ට අවශ්‍ය වූයේ ලකුණු 7ක් පමණයි. කෙසේ වුවත් අර්ෂදීප් සිං මෙම පන්දුවාරයේ 5 වන පන්දුව දක්වාම තරඟය අත නොහැර තබා ගැනීමට සමත් වුණා. ඔහු ආසිෆ් අලීගේ කඩුල්ලද දවා ගත්තා. නමුත් තරඟයේ ජයග්‍රහණය ඉන්දියාවට ලබා දීමට අර්ෂදීප් ට නොහැකි වුණා.


මේ සම්බන්ධයෙන් අදහස් දක්වා සිටි අර්ෂදීප් සිං ගේ මව ප්‍රකාශ කොට තිබුණේ අවසන් පන්දුවාරයට ලකුණු 12ක් 13ක් වැනි ගණනක් තිබුණා නම් අනිවාර්යයෙන්ම තමන්ගේ පුතා ඉන්දියා ජයග්‍රහණය තහවුරු කරන බවයි. මේ වන විට අර්ෂදීප්ට එල්ල වන විශාල දෝෂාරෝපණයන් වෙතට ඔහුගේ මව ලබාදුන් පිළිතුරක් ලෙසටද මෙය දැක්විය හැකි වනවා.

7,811 views0 comments