• Chathura Ramanayake

මේ දිනවල සක්‍රීය දේශීය ක්‍රිකට් පිටියේ අණසක පතුරණ ප්‍රභලයින්.


අන්තර් සමාජ තුන් දින තරගාවලියේ තරග අර්ධයකට ආසන්න ගණනක් මේ වන විටත් පවත්වා අවසන්. ක්‍රීඩා සමාජ 26ක් කාණ්ඩ 2ක් ඔස්සේ තරග වදින අතර මූලික වටයේදී සෑම කණ්ඩායමක්ම තරග 12කට ක්‍රීඩා කරයි. මේ වන විට ක්‍රීඩා සමාජ 16ක්ම තරග 5 බැගින් ක්‍රීඩා කොට ඇති අතර ඉතිරි ක්‍රීඩා සමාජ 10 තරග 4 බැගින් ක්‍රීඩා කොට ඇත.


A කාණ්ඩයට ඇතුළත් ක්‍රීඩා සමාජ 13 අතුරින් කොළඹ, එස් එස් සී හා මුවර්ස් ක්‍රීඩා සමාජයන් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණෙහි පසුවෙයි. නමුත් මුවර්ස් ක්‍රීඩා සමාජය තරග 4ක් අතුරින් 3ක් ජයගෙන ඇති අතර කොළඹ හා එස් එස් සී ක්‍රීඩා සමාජයන් තරග 5ක් අතුරින් 2ක් පමණක් ජයගෙන ඇත. B කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ මුල් ස්ථාන 3 හිමිකරගැනීමට ටැමිල් යුනියන්, හලාවත මේරියන්ස් හා බදුරලිය ක්‍රීඩා සමාජ සමත්ව ඇත.


මෙතෙක් පැවති තරග අවසානයේදී පිතිකරුවන් අතර පෙරමුණ හිමිකරගැනීමට සමත්ව ඇත්තේ රාගම ක්‍රීඩා සමාජයේ නිෂාන් මදුෂ්කයි. ඔහු තරග 5ක් තුළදී ලකුණු 925ක් රැස්කොට ඇත්තේ නොදැවුනු ත්‍රිත්ව ශතකයක් සමගිනි. ඔහු මෙවර තරගාවලියේ ක්‍රීඩා කළ ඉනීම 7 තුළදී ශතක 5ක් හා අර්ධ ශතක දෙකක් රැස්කිරීමට සමත් විය. නිෂාන් මදුෂ්කගේ මෙවර තරගවාරයේ පිතිකරණ සාමාන්‍යයක් ලකුණු 185ක් වැනි ඉහළ අගයක් ගනී.


වැඩිම ලකුණු ලාභීන් අතර දෙවන තැන SSC ක්‍රීඩා සමාජයේ යොවුන් ක්‍රීඩක නුවනිදු ප්‍රනාන්දුට හිමි වී ඇති අතර ඔහු ඉනීම 6ක් තුළදී ලකුණු 601ක් රැස්කළේ ශතක 4ක් හා අර්ධ ශතක 2ක්ද සමගිනි. වැඩිම ලකුණු ලාභීන් අතර තෙවන තැන කොළඹ ක්‍රීඩා සමාජයේ කමිදු මෙන්ඩිස්ට හිමිවී ඇත. කමිදු මෙවර තරගාවලියේ දී ඉනීම 8ක් තුළදී ලකුණු 521ක් රැස්කළ අතර ඊට නොදැවුනු ද්විත්ව ශතකයක් ද ඇතුළත් විය. වැඩිම ලකුණු ලාභී පිතිකරුවන් අතර සෙසු ස්ථාන පිළිවෙලින් නිපුන් ධනංජය හා සදීර සමරවික්‍රමට හිමිවී ඇත.




තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන් අතර පෙරමුණ හිමිකරගැනීමට යුධ හමුදා ක්‍රීඩා සමාජයේ කෞමාල් නානායක්කාර සමත්ව ඇත්තේ තරග 5 තුළදී කඩුලු 42ක් දවාගනිමිනි. ඔහුගේ හොදම පන්දු යැවීම ලෙසින් ලකුණු 75ට කඩුලු 8ක් දවාගැනීම සටහන් වෙයි. වැඩිම කඩුලු ලාභීන් අතර දෙවන තැන SSC ක්‍රීඩා සමාජයේ ප්‍රභාත් ජයසූරිය රැදෙන අතර ඔහු තරග 5 තුළ කඩුලු 35ක් දවාගෙන ඇත.


බදුරලිය ක්‍රීඩා සමාජයේ චලන ද සිල්වා වැඩිම කඩුලු ලාභීන් අතර තෙවැන්නා බවට පත්ව ඇත්තේ කඩුලු 34ක් දවාගනිමිනි. වැඩිම කඩුලු ලාභීන් අතර සෙසු ස්ථාන පිළිවෙලින් තරිඳු රත්නායක හා ලසිත් ඇඹුල්දෙණියට හිමි වී ඇත.


තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන්

නිෂාන් මදුෂ්ක - 925

නුවනිදු ප්‍රනාන්දු - 601

කමිදු මෙන්ඩිස් - 521

නිපුන් ධනංජය - 463

සදීර සමරවික්‍රම - 459


තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන්

කෞමාල් නානායක්කාර - 42

ප්‍රභාත් ජයසූරිය - 35

චලන ද සිල්වා - 34

තරිඳු රත්නායක - 32

ලසිත් ඇඹුල්දෙණිය - 31


168 views0 comments