• Chathura Ramanayake

අද සටන් බිමෙහි දිගහැරෙන අතිශය තීරණාත්මක ඉන්දු ශ්‍රී ලංකා සටන.

ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි කණ්ඩායම් හතර වටයේ තවත් එක් තරගයක් අද දිනයේදී පැවැත්වීමට නියමිතය. ප්‍රභල ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර මෙම තරගය ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. අද දිනයේදී පැවැත්වෙන මෙම තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළහොත් ඉන්දීය කණ්ඩායමට ආසියානු කුසලාන තරගාවලියෙන් ඉවත් වීමට සිදුවනු ඇත.


ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම ආසියානු කුසලාන තරගාවලියේ මෙතෙක් පැමිණි ගමන්මග දෙස අවධානය යොමු කරන විට කණ්ඩායම් දෙකම තරග දෙක බැගින් ජයග්‍රහණය කොට ඇත. ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ ආරම්භක තරගයේදී ඇෆ්ගනිස්තානය හමුවේ පරාජයට පත් වුවද ඉන් අනතුරුව බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව විශිෂ්ඨ හඹායාමක් සිදුකරමින් සුපිරි කණ්ඩායම් හතරට පිවිසීමට සමත් විය.


සුපිරි කණ්ඩායම් හතරේ වටයේ මුහුණ දුන් පළමු තරගයෙන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම පරාජයට පත් කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූයේ ප්‍රසාද ලකුණු සටහනේද ප්‍රමුඛයා බවට පත් වෙමිනි.ඉන්දීය කණ්ඩායම මූලික වටයේ තරග දෙකම ජයග්‍රහණය කරමින් සුපිරි කණ්ඩායම් හතර අතරට පිවිසියද එම වටයේ ක්‍රීඩා කළ පළමු තරගයෙන් පාකිස්තානය හමුවේ පරාජයට පත් විය.


ඉන්දියාවට එරෙහි තරගය වෙනුවෙන් ශ්‍රී ලංකා පිතිකරුවන් එක් වන්නේ පිට පිට තරග දෙකක් හඹාගොසින් ජයග්‍රහණය කිරීමේ ධනාත්මක මානසිකත්වයෙනි. පසුගිය ඇෆ්ගනිස්තානයට එරෙහි තරගයේදී කුසල් මෙන්ඩිස්, පැතුම් නිස්සංජ, භානුක රාජපක්ෂ හා ධනුෂ්ක ගුණතිලක යන ක්‍රීඩකයන් දක්ෂතා අතරට පැමිණීමට සමත් විය. ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගලය මෙවර තරගාවලිය පුරාවටම සාර්ථක වන ආකාරය දැකගත නොහැකි විය. නමුත් ඉන්දීය හිටපු නායක විරාට් කෝලි සිය සුපුරුදු රිද්මය සොයාගන්නට සමත් වී ඇති ආකාරයක් දැකගත හැකිවිය.


ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම සැසදීමේදී අවසන් වරට ක්‍රීඩා කළ ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 5 අතුරින් ඉන්දීය කණ්ඩායම තරග 4ක් ජයගෙන ඇති අතර ශ්‍රී ලංකාව තරග 3ක් ජයගෙන ඇත. අද දිනයේදී පැවැත්වෙන තරගයේදී ශ්‍රී ලංකා සුපිරි දගපන්දු යවන්නන් යුගලය වන වනිදු හසරංග හා මහීෂ් තීක්ෂණ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අත්දැකීම්ද මනාවට උපයෝගී කරගනු ඇති අතර ඔවුන් දෙදෙනා තරගයේ තීරණාත්මක පන්දු යවන්නන් බවට නිසැකවම පත් වනු ඇත.


ඉන්දීය දගපන්දු යවන ක්‍රීඩක යුෂ්වේන්‍ද්‍රන් චහල්ට මෙවර තරගාවලියේ පළමු තරග දෙකේදී කඩුලු දවාගැනීමට නොහැකි වූ අතර පාකිස්තානයට එරෙහි සුපිරි කණ්ඩායම් හතරේ වටයේදීද ඔහුට එරෙහිව එක් කඩුල්ලකට ලකුණු 43ක් රැස්කිරීමට පාකිස්තානුවන් සමත් විය. අද තරගය පැවැත්වෙන ඩුබායි තණතීරුවේ අවසන් වරට පැවති තරග 3හි ඉනීම 5කදීම ලකුණු 180 සීමාව ඉක්මවන්නට කණ්ඩායම් වලට හැකිවිය. හෙට තරගයේ හඹායමේදී පින්න බාධාවක් නොවනු ඇතැයි වාර්තා වෙයි.


අද තරගයට ක්‍රීඩා කරන කණ්ඩායම් දෙස අවධානය යොමු කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම එක් වෙනස්කමක් සිදු කිරීමට නියමිත බවට ඊයේ දිනයේදී දසුන් ශානක ඉගි ලබාදුන්නද එම වෙනස්කම සිදුකරන්නේද යන්න තහවුරු කොට නොමැත. එම වෙනස්කම සිදු කළහොත් චරිත් අසලංක වෙනුවට දනංජය සිල්වා ඉන්දියාවට එරෙහි තරගයට ක්‍රීඩා කරනු ඇත. ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක රවීන්ද්‍ර ජඩේජා ආබාධයකට ලක්වූ අතර අක්ෂාර් පටෙල් හා රවිචන්ද්‍රන් අශ්වින් අද දිනයේදී ක්‍රීඩා කරනු ඇතැයි වාර්තා වෙයි.


ශ්‍රී ලංකා කණ්ඩායම

පැතුම්, කුසල්, චරිත්/ධනංජය, ධනුෂ්ක,භානුක, දසුන්, වනිදු, චාමික, මහීෂ්, අසිත, දිල්ෂාන්


ඉන්දීය කණ්ඩායම

රාහුල්, රෝහිත්, විරාට්,සූර්‍යකුමාර්, හර්දික්, දිනේෂ්, අක්ෂාර්, අශ්වින්, බිෂ්නෝයි, බුවනේෂ්වර්,අර්ෂදීප්




1,532 views0 comments